![]() |
| courtesy-http://static.panoramio.com/photos/original/38155736.jpg |
ධාන්‍යයක් වශයෙන් ගත්කළ ,තිරිඟු යනු කෙඳි, විටමින් B,E හා ප්‍රෝටීන වලින් සරු ආහාරයකි. නමුත් පිෂ්ඨය හැරුණුකොට මේ පෝෂක සියල්ල පවතින්නේ ඇටයේ පිටතින්ම පවතින 12% පමණ වූ බීජාවරණ කොටසෙහිය.
පිටි බවට පෙරළීමේදී නිවුඩ්ඩ ඉවත් කිරීම නිසා බොහෝ විට තිරිඟු පිටි වල මූලික වශයෙන් පිෂ්ඨය පමණක්ම පාහේ අඩංගු වේ. තිරිඟු වල අඩංගු පිශ්ඨය හැර බොහෝ පෝෂක කුරුට්ට සමඟ ඉවත්ව යයි.එම නිසා තිරිඟු ඇට වල කුරුට්ට ඉතිරි වී ඇති ප්‍රතිශතය දැක්වීමට ,අන්තර්ජාතිකව "නිස්සාරණ අනුපාතිකය" (Extraction Rate) යන ප්‍රතිශතය භාවිතා කෙරේ. මෙම අනුපාතිකය ඉහල යන තරමට තිරිඟුවල සුදු පැහැය අඩුවන අතර ගුණාත්මක බව වැඩිවේ.මෙම ඉවත් කරන කුරුට්ට "නිවුඩු" ලෙස සත්ව ආහාර යනාදී නිශ්පාදන කිරීම සඳහා වෙනම වෙළඳපොල කරා යැවිය හැක.
දෙවන ලෝක යුද්ධයට පෙර ලාංකිකයන් පාන් හෝ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගත්තේ නොමැති තරම්ය.එමනිසා ලංකාවට තිරිඟු ආනයනයක්ද සිදු නොවුනි.එකල ලාංකිකයන්ගේ දෛනික ආහාර වේල බෙහෙවින්ම සහල් පිටි මත පදනම් වූවක් විය. උදෑසන ආහාරය සඳහා ආප්ප, ඉඳි ආප්ප, පිට්ටු ආදියත් දිවා හා රාත්‍රී ආහාරය සඳහා එළවළු මාළු පිනි සමඟ බතුත් වශයෙන් ප්‍රධාන ආහාර වේල්ද සවසට අමතර ආහාර වේලක්ද ලබා ගන්නා ලදී.ධනපතීන්ට පමණක් විටෙක පාන් සමඟ බටර් තැවරූ සැන්ඩ්විච් හෝ කේක් වැනි අතුරුපසක් රස විඳීමට ලැබුනි.සෙස්සෝ අළුවා, කැවුම්, කොකිස්,වැනි විවිධ හාල් පිටි ආශ්‍රිත ආහාර ඒ සඳහා භාවිතා කළහ. සාමාන්‍ය ජනයාට මිලදී ගත හැකි එකම තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනය වුයේ “හුළං විස්කෝතු”ය.
එකල MRI(වෛද්‍ය පර්යේෂණ ආයතනය) විසින් කල කරන ලද සමික්ෂණයකට අනුව ශ්‍රී ලාංකිකයන්, සහල් හා සහල් පිටි ආශ්‍රිත ආහාර අවුන්ස 16-18 (ග්‍රෑම් 400-500) පමණ දිනකට ආහාරයට ගන්නා බව සොයාගෙන තිබේ. මෙයට අමතරව කොස්, දෙල්, අල, බතල, මඤ්ඤොක්කා, කිරි අල , බතල, වෙල් අල වැනි පිටි බහුල ආහාරද ,ඒවා බහුල කාලවලදී භාවිතා කරනු දක්නට ලැබී ඇත. ඉහතකී ග්‍රෑම් 450 ක සහල් ප්‍රමාණයක් අයෙකුට ලබාදීමට තරම් දේශීය සහල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවූ නිසා, බුරුමය වැනි රටවලින් සහල් ආනයනය කිරීමට ඉංග්‍රීසින් විසින් පියවර ගන්නා ලදී.
කෙසේ වුවද ලෝක යුද්ධ සමයේ සහල් ආනයනයට බාධා ඇති විය.මෙයට විසඳුමක් ලෙස ඔස්ට්‍රේලියාව වැනි රටවලින් තිරිඟු හා තිරිගු පිටි ආනයනය කර අඩු තරමින් අයෙකුට ග්‍රෑම් 225 පමණ සලාක ක්‍රමයක් යටතේ බෙදා දීමටත්, ඉතිරි ප්‍රමාණය බජරි වැනි ධාන්‍ය වලින් සපුරා ගැනීමට නියෝග කිරීමටත් ,එකල පාලකයෝ කටයුතු කළහ.තිරිඟු පිටි මහා පරිමාණයෙන් ආනයනය කිරීමේ ආරම්භය මෙයයි.
ලෝක යුද්ධයෙන් පසුවද ඔස්ට්‍රේලියාව, උතුරු ඇමෙරිකාව, යුරෝපය ආදී රටවලින් දිගටම තිරිගු පිටි ආනයනය කිරීම සිදු විය. ආහාර ආධාර ලෙස බොහෝ විට ලැබුනේද තිරිගු පිටි ය.කල්යත්ම තිරිගු ඇට ලංකාවට ආනයනය කර, පිටි බවට පත් කිරීමට පියවර ගන්නා ලදී.මේ සඳහා සිංගප්පුරු සමාගමක් විවින් 1976 දී රජයට යෝජනාවක් ඉදිරිපත් විය. එයට අනුව ලංකාවට ගෙන එන සියළු තිරිගු,පිටි බවට කෙටීමට සමාගම විසින් ත්‍රිකුණාමලයේ යන්ත්‍රාගාරයක් පිහිටුවන අතර ඉන් නිස්සාරණ අනුපාතිකය 70% වූ තිරිගු පිටි නිෂ්පාදනය කෙරේ; මෙහිදී නිපදවෙන 30% වූ නිවුඩ්ඩ සමාගම වෙත ලබාදිය යුතුය.
විවිධ මත ගැටුම් හා සාකච්ඡා රැසකට පසු 1977 දී ප්‍රීමා සමාගම විසින් තම තට්ටු 8 ක් පමණ වූ විශාල තිරිගු පිටි කම්හලක් ත්‍රිකුණාමලයේදී ආරම්භ කරන ලදී. නැව් වලින් ගෙන එන තිරිඟු පළමු මාලයට යාන්ත්‍රිකව ඇදගනිමෙන් පසු එක් එක් මහල් කරා ගමන් කරමින් නිවුඩු ඉවත් කිරීමත් ,පිටි නිපදවීමත් සිදු විය. අවසානයේදී බිම මහලේදී මෙම පිටි අසුරනයන්ට පුරවන ලදී, මෙතැන් පටන් මෙම තිරිඟු පිටි රජයේ ආහාර කොමිසමේ අයිතියට යටත් විය. තත්ත්ව පාලනය සඳහා මෙම යන්ත්‍රාගාරය මගින් නිපදවන සැම පිටි කාණ්ඩයකම නියැදි ගෙන විද්‍යාගාරයක තත්ත්ව පරික්ෂා කිරීම සිදු විය. එය ඉතා සුපිරිසිදුව පවත්වාගන්නා ලදී.එසේම,ඉතා විනයවත් හා කාර්යශුර සේවක මඩුල්ලක් මෙහි සේවය කරන ලදී, දින කීපයක් තිස්සේ මෙම ආයතනය පරික්ෂා කල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජිතයින්ද මෙම කරුණු සහතික කරන ලදී.
පසුව සිදුවූ සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස,මෙහි දැනට නිශ්පාදනය කරන තිරිඟු පිටිවල නිස්සාරණ අනුපාතිකය 74% දක්වා ඉහළ දමාගැනීමට හැකිවී ඇත. කෙසේ වුවද මෙම තිරිඟු පිටි වල පවතින්නේ ඉතාම අඩු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයකි.ඉහත කී අනුපාතිකයන් වෙනස් කරලිම සඳහා ඉතා වියදම් අධික වෙනස්කම් මෙම යන්ත්‍ර වල කිරීමට සිදුවේ.නමුත් ඊට වඩා බෙහෙවින් අඩු වියදමකින් තිරිඟු පිටි වලට විටමින් බී, යකඩ වැනි පෝෂක පිටින් එක් කර “සබලිකෘත” කිරීම කළ හැක.
අනුවාදනය -වෛද්‍ය වේදිෂ ගන්කන්ද
සංස්කාරක සටහන-
පෘතුගීසින් ලංකාවට පැමිණි සමයේ ඔවුන් පාන් සමග වයින් ආහාරයට ගත බවට සාධක පවතී. නමුත් එය මහාපරිමාණ තිරිඟු පිටි ආනයනයක් නොවූ බව පැහැදිලිය.
For the English version of this article Click Here | මම ලපය ඉංග්රීසි පවතනය සඳහ මතනට යනන.

