Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Showing posts with label සිංහල ලිපි. Show all posts
Showing posts with label සිංහල ලිපි. Show all posts

Wednesday, June 27, 2012

Advice for fathers / පියවරුන්ට පෝෂණ උපදෙස්


පියවරුන්ගේ දිනය පහුවෙලා ටික දිනක් ගතවුනත් ඒ ගැන සටහනක් තැබිය යුතුයි කියා සිතුනා. තාත්තා කෙනෙක් ගොඩක් වෙලාවට තමන්ගේ පවුලේ දියුනුව දරුවන්ගේ සැප පහසුව ඉගෙනීම ආදිය ගැන වෙහෙසවෙන අතරෙදි තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වීම අතපසු වෙනවා.
තමන්ගෙ පවුල ගැන හිතන තාත්තා කෙනෙක් තමන් නීරෝගීව සිටීම ඉතා වැදගත් මොකද එහෙම නැතිව තමන් රෝගී තත්වයට පත් වුනොත් ඒ අයත් අසරන වන නිසා. වයස 40-45 කියන්නේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක්.
මන්ද යත් මේ කාලෙදි  තමයි ගොඩක් අයට දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්වයන් ආරම්භ වෙන්නේ.

                                                                                

මේ ආකාරයෙන් තාත්තලාගේ සෞඛ්‍ය තත්වය පහල වැටීමට හේතු බොහොමයක් තිබෙනවා. නොසැලකිලිමත් ආහාර පුරුදු  ඉන් ප්‍රධාන හේතුවක්. පිටතින් පරිභෝජනයට ගන්නා සකස් කල ආහාර වල අධික ලෙස මේදය අඩංගු වෙනවා. ඒ මගින් ඔබට දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ හදවත් රෝග ආදිය වැලඳීමට වැඩි හැකියාවක් පවතිනවා. ඊට අමතරව මත්පැන් සහ දුම්වැටි භාවිතයත් මේ රෝග හටගැනීමට කෙලින්ම බලපානවා. 

නීරෝගීව සිටින්නේ කොහොමද?

ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI අගය ගැන ඔබ අහලා ඇති. ඒ කියන්නේ ඔබට උස සරිලන බරක් තිබේද කියා පෙන්වන සාධකයක්. ආසියාතිකයින් වන අපේ බොහොමයක් දෙනා හට ඇත්තේ තිබිය යුතු මට්ටමට වඩා වැඩි BMI අගයක්. මෙය නිසි මට්ටමට ලඟා කර ගැනීමට බර අඩු කර ගැනීම කෙරේ සැලකිලිමත් විය යුතුයි.

ආහාර  තෝරා ගැනීමේදී හැකි පමන නිවසේදී පිලියෙල කල ආහාර ගැනීම ඉතා වැදගත්. මන්ද යත් පිටතින් ලබා ගන්නා ආහාරවල නොයෙක් රසකාරක වගේම අධික ලෙස තෙල්, සීනි අන්තර්ගත වන නිසයි.මේද අධික ආහාර ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉහල ගොස් ඔබ ඉහත සඳහන් කල තත්වයන්ට ගොදුරු වීමට පුලුවන්. සීනි අධික ආහාර නිසාද ඔබ දියවැඩියාව හා අනිකුත් රෝගී තත්ව ඇතිවීමට පුලුවන්.ඒ වගේම ලුනු අධික ආහාර වලින් අධි රුධිර පීඩනය වැලදීමේ හැකියාවක් පවතිනවා.මේ නිසා හැකි පමන සමබල ආහාර වේලක් ලබා ගැනීමට උනන්දු විය යුතුයි.
                                                           


දිනපතා ආහාර වලට පලතුරු වර්ග 2ක් සහ එලවලු වර්ග 2ක් මෙන්ම එක් පලාකොල වර්ගයක් එක් කර ගැනීමත් කල යුතුයි. මේවායේ අන්තර්ගතවන ප්‍රති ඔක්සිකාරක (Anti oxidant) මගින් ඔබව කිරීටක ධමනි රෝගවලින් ආරක්ෂා කරනු ලබනවා.

ඔබ මත්පැන් පානය  කරන කෙනෙක් නම් එය නැවැත්වීම කල යුතුමයි. මත්පැන්වල අන්තර්ගත වන අධික කැලරි ප්‍රමානය නිසා ඔබේ බර වැඩි වෙනවා . ඊට අමතරව ඒ අවස්ථාවේ ඔබ ආහාරයට ගන්නා නොයෙක් කටගැස්ම වලද බොහෝ විට තෙල් මේද අන්තර්ගත වනවා. ඒ මගින් ඔබේ බර තවත් වැඩි වී ඔබ ස්ථූලභාවයට පත්වීමට පුලුවන්.
                                                                                        

ක්‍රියාකාරී දිවි පෙවෙතක් ගත කිරීමෙන් ඔබට මේ තත්වයන්ගෙන් ආරක්ෂාවීමට හැකියාව ලැබෙනවා. ඒ සදහා ඔබට ලොකු කාලයක් ගත කිරීමට අවශය නැහැ. පවුලේ අයත් සමගම ඔබට ඇවිදීමට යන්න පුලුවන්. එය ඔබේ පමනක් නොව ඔබේ බිරිදගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය තත්වය වැඩි දියුනු වීමටත් බලපානවා. එපමනක් නොවෙයි එමගින් පවුලේ සාමජිකයින් අතර සුහදතාවය ආදරය සහ විශ්වාසය ගොඩනැගෙනවා. ඒ වගේම මේ හොද පුරුදු දරුවන්ට හුරු කිරීම තුලින් ඔවුන් අනාගතයේ සෞඛ්‍යවත් දිවි පෙවෙතක් ගත කිරීමට හුරු වෙනවා.

                                                                                

ඔබත් තමන්ගේ පවුලේ දියුනුව වෙනුවෙන් කැපවන පියෙක් නම් තමා ගැනත් සැලකිලිමත් වන්න.

Tuesday, June 26, 2012

කිරි පිටි තෝරා ගැනීමේදී සැලකිලිමත් වන්න


අප එදිනෙදා ප්‍රධාන ආහාර වේල් වලට අමතරව තවත් නොයෙක් දේවල් ආහාරයට ගන්නවා. ඒ අතරින් කිරි පිටි වලට ප්‍රධාන තැනක් හිමිවෙනවා. මන්ද යත් අප සමාජයේ සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට කිරි වීදුරු දෙකක් හෝ ඊට වැඩි ප්‍රමානයක් පානය කරන නිසා. ඒ අතරින් නැවුම් කිරි පානය කරන අය සිටින්නේ අතලොස්සක්. බොහොමයක් දෙනා පාරිභෝජනය කරන්නේ පිටි කිරි. වෙලඳ පොලේ අද වන විට විවිධ වෙලඳ නාම යටතේ කිරි පිටි විශාල ප්‍රමානයක් පවතිනවා. එක් එක් වයස් කාන්ඩ වලට මෙන්ම විවිධ අවස්ථා සදහා කිරි පිටි වර්ග පවතිනවා. උදාහරනයක් ලෙස ගර්භනී මවුවරු සඳහාද අද වෙලඳ පොලේ කිරි පිටි වර්ග පවතිනවා. කිරි පිටි පාවිච්චියට පෙර ඒ ගැන දැන සිටීම ඉතා වැදගත්.

ඒ පිලිබදව සුවය සඟරාවේ පලවූ ලිපිය මෙතැනින්





Tuesday, December 6, 2011

ඔස්ටියොපොරෝසිස් වලට බයද? එහෙනම් මේ කෑම වේල ඔබටයි! | Beat Osteoporosis through a Sri Lankan diet

ඔස්ටියොපොරෝසිස් රෝගය , විශේෂයෙන්ම ආර්තවහරනයට ලක් වූ කාන්තාවන් වැඩි වශයෙන් පෙළීමට ඉඩ ඇති රෝග තත්ත්වයක්. මෙම රෝගයේ අතුරු ඵල වන්නේ අස්ථි වල වේදනාව හා බිඳීම් ඇතිවීමයි. කෙසේ නමුත්, වෙළෙඳ දැන්වීම් වල පෙන්වන තරම් අධික පිරිසකට තරුණ අවදියේ සිටම ඔස්ටියොපොරෝසිස් රෝගයට ගොදුරු වීමේ අවදානමක් නම් නැහැ.එසේම මෙම රෝගය වලක්වා ගැනීමට මෙන්ම , රෝගය සෑදුනු අය ප්‍රතිකාර ගන්නා අතරතුරත් අවශ්‍ය අමතර කැල්සියම් හා විටමින් ඩී ලබා ගැනීමට මිල අධික පිටි වර්ග අත්‍යවශ්‍ය නැහැ. අපගේ එදිනෙදා ආහාර වේල සුළුවෙන් වෙනස් කිරීමෙන් එය පහසුවෙන්ම ඉටු කරගත හැකියි.ටික වේලාවක් උදෑසනින්ම අව්වේ ඇවිදීමෙන් ,නොමිලේම විටමින් ඩී අවශ්‍ය තරම් ලබා ගත හැකියි.

එසේ කරන ආකාරය ගැන අප විසින් පෙර ඉංග්‍රීසියෙන් පළ කල ලිපි 1 කොටස හා 2 කොටස මෙතැනින්.
රිවිර පුවත්පතේ පලවූ සිංහල ලිපිය මෙතැනින් .

විශාල කර ගැනීමට පින්තූරය මත ක්ලික් කරන්න

Tuesday, November 29, 2011

දවසකට සීනි හැඳි කොච්චර ඕනද? | How much tea spoons full of Sugar do I need per day?

පින්තූරය උඩ ක්ලික් කර, එය විශාල කරගන්න.

රිවිර පුවත්පතේ මේ ගැන පළවූ ලිපිය මෙතැනින්.

Thursday, November 24, 2011

චයිනීස් රෙස්ටොරන්ට් සින්ඩ්‍රෝමය සහ MSG | Chinese restaurant syndrome & MSG

MSG යනු මොනො සෝඩියම් ග්ලුටැමේට් C5H8NNaOහඳුන්වන කෙටි නමයි.මෙය ජාත්‍යන්තර නාමකරණ සම්මුතීන්ට අනුව E 621/ HS code 29224220 යන සංකේතයෙනුත් හඳුන්වනු ලබනවා.

1909 වැනි කාල‍යකදී ජපානයේදී සොයාගත් මෙම රසකාරක සංයෝගය පැණි රස , ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස යන රසයයන් උද්දීපනය කිරීමට මෙන්ම(අජිනො-මොටො යන ජපන් නාමයේ අර්ථයද මෙයයි )  "උමාමි" නම් වෙනස්ම වූ රසයක්ද උපදවීමට සමත්. මෙම කරුණු නිසා ලොව පුරා බහුලව  ආහාර රස ගැන්වීම සඳහා මෙන්ම ආහාර වල ඇති රස උද්දීපනය කිරීම සඳහා MSG බහුලව යොදා ගන්නවා.

ශරීරයේ පවතින අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් මෙන්ම ස්නායු ආවේග සම්ප්‍රේශකයක් වන "ග්ලුටැමේට්" හි ලවණයක් වශයෙන් මෙම සංයෝගය හඳුන්වා දිය හැකියි. එම නිසා මෙම රසයයන් ඇති කිරීමේ ගුණය මොළයේ රසායනික ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ වන බව පැහැදිළියි.

 වර්තමානයේදී, ක්ෂණික රසකාරක මිශ්‍රන, අජිනො-මොටෝ, ක්ෂණික නූඩ්ල්ස් , සුප් කැට, හැම්, සොසේජස් පමණක් නොව සෝස් වර්ග වල පවා මෙම MSG ඉතා අධිකව භාවිත වනවා. නගරබදව ඉතා ජනප්‍රිය වී ඇති කොත්තු රොටි, ෆ්‍රයිඩ් රයිස්, චීන කෑම ආදිය සැදීමේදී , MSG මේස හැඳි කීපයක්ම ඒවාට එක් කිරීමට වෙළෙඳුන් වග බලා ගන්නවා. මෙම රසයට පුරුදු වූ අයෙකු ඒවා නිතර අහාරයට ගැනීමට පෙළඹෙනවා.

MSG අඩංගු ආහාර ගැනීමේදී බොහෝ දෙනෙකුට විවිධ සංකූලතා ඇතිවෙන බව පසු කාලීනව සොයා ගත්තා. ඒවා අතර හිසරදය, හිරිවැටීම්, නිදිබර ගතිය, හා පපුවේ කැක්කුම ආදිය අතිවිය හැකියි.මෙම රෝග ලක්ෂණ සියල්ල එකතුව ගත් කල, "චයිනීස් රෙස්ටොරන් සින්ඩ්‍රෝම්"- Chinese restaurant syndrome ලෙස හඳුන්වනවා.


MSG ආහාරයට ගත් සමහර අයට ජීවිත අවධානම පවා ඇති කරන රෝග ලක්ෂණ පවා ඇතිවුණු බව සොයාගෙන තිබෙනවා.නමුත් තවම ලෝකය පුරා MSG ඉතා අහිතකර සංයෝගයක්ද යන්න ගැන පැහැදිළි පොදු එකඟතාවක් නැහැ. ආහාර නිෂ්පාදන ආයතන විසින් MSG එකතු කිරීම වළක්වාලන නීති කෙරේ අධික ප්‍රතිරෝධයක් දක්වනවා; හේතුව එමගින් ඔවුන්ගේ පාරිභෝගිකයින් අහිමි වීමේ අවදානමකට ඔවුන් ලක් වීම නිසයි.කෙසේ නමුත් ලොව පුරා පාරිභෝගිකයින් දැන් දැන් MSG රහිත ආහාර තෝරා ගැනීමට අභිරුචියක් දක්වනවා.


ලංකාවේ ,MSG  පිළිබඳ හෝ ඉහත කී "චයිනීස් රෙස්ටොරන්ට් සින්ඩ්‍රෝමය" ගැන පර්යේෂණ කෙරී නැහැ.ඔබටත් සමහර විට නොදැනුවත්වම ඉහත කී ආහාර ගත් පසු එම රෝග ලක්ෂණ මතුව තිබෙන්නට පුළුවන්. එම නිසා ඔබටත් එවන් අත්දැකීමක් තිබේ නම් එය කොමෙන්ටුවකින් හෝ  විද්‍යුත් තැපැල් මගින් අප සමඟ බෙදා ගන්න.

Wednesday, November 16, 2011

පෝෂණ තොරතුරු සැම අතට ! -ශ්‍රී ලංකා පෝෂණ තොරතුරු සංග්‍රහය | Sri Lanka Nutrition Bulletin



ශ්‍රී ලංකා පෝෂණ තොරතුරු සංග්‍රහය "Nutrition Bulletin of Sri Lanka" අප ඔබ වෙත ගෙන එන්නේ ඉමහත් සතුටින්.
ත්‍රෛමාසික ඉංග්‍රීසි ප්‍රකාශනයක් වන මෙහි අප විසින් සිදු කරනු ලබන පර්යේෂණ ආදිය ඔස්සේ ලබා ගන්නා පෝෂණ දත්ත එළි දැක්වීමට බලාපොරොත්තු වනවා.පර්යේෂණ ප්‍රතිපල වලට අමතරව වෛද්‍ය දැනුම,නව ප්‍රවනතා ,විශේෂ අවස්ථා ආදිය පිළිබඳ මෙමගින් ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොතු වනවා.

දේශීය හා විදේශීය වෛද්‍ය වෲත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විශ්ව විද්‍යාල වල පර්යේෂණ වල නිරතවන්නන් , පාසැල් හා උසස් අධ්‍යාපන සිසුන්,වෙළෙඳ ආයතන හා පෝෂණය හා සම්බන්ධ විවිධ පාර්ශව වලට, විශ්වාසදායක ලෙස නවතම පෝෂණ දර්ශකයන් හා දත්ත ලබා ගැනීමටපහසු මූලාශ්‍රයක් නැති වීමේ ගැටළුවට පිළිතුරක් සැපයීම මෙම ව්‍යායාමයේ අරමුණ වුනා.

මංගල කලාපය ,පහත මාතෘකා ඔස්සේ පෙළ ගැසෙනවා,

  • මන්දපෝෂණ දර්ශක
  • අඩු උපත් බර
  • කාන්තාවන්ගේ මන්ද්‍ර/ අධි පෝෂණ තත්ත්වයන්
  • නීරක්තිය
  • විටමින් A ඌනතාවය
  • අයඩින් ඌණතාවය
  • පාචනය
  • ගැබිනි මවුන්ගේ යකඩ හා ෆෝලික් අම්ල පෙති භාවිතය
  • මවු කිරි දීම
  • අතිරේක ආහාර දීම
  • විශම මන්ද පෝෂණ ව්‍යාප්තිය 
  • පර්යේෂණ වාර්තා ලුහුඬින්
  • වැදගත් අවස්ථා
  • පෝෂණ ක්ෂේත්‍රයේ දියුණුවට යෝජනා
ඔබට අවශ්‍ය පිටපත් ලබා ගැනීමට අපව අමතන්න.නැතහොත් මෙම සබැඳිය ඔස්සේ PDF පිටපත් බාගත හැකියි.

Monday, October 31, 2011

නීරක්තිය සහ ලුණු "ද්විත්ව සබලීකරණය" | Aneamia and Salt "Double fortification"



නීරක්තිය, ශ්‍රී ලංකාවේ පෝෂණ ක්ෂේත්‍රයේ තවමත් විසඳුමක් නොමැති දැවෙන ප්‍රශ්නයක් ලෙස පවතිනවා.

සමස්ථයක් ලෙස ගත් විට නීරක්තිය ජනගහනයෙන් 20-40% දක්වා ප්‍රමාණයකට පවතිනවා. මෙම තත්වය වතු ආශ්‍රිත ජනයා අතරත් කුඩා දරුවන් අතරත් බහුලයි.තේ වගා කෙරෙන සමහර දිස්ත්‍රික්ක වල කුඩා ලමුන් අතර නීරක්තිය 40% වැනි ඉහල අගයයන් පවා වාර්තා වී තිබෙනවා.මෙයට එක් හේතුවක් ලෙස එම ප්‍රදේශ වල බහුලව පවතින පණු රෝග හේතු වන බව කිව හැකියි.
 නීරක්තිය නිසා හුස්ම ගැනීමට මෙන්ම, ඇඟ වෙහෙසා වැඩ කිරීමේ අපහසුතා ඇති වෙනවා.මෙනිසා රටක ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව අඩුවී ආර්ථිකය පරිහානියට පත්වීම සිදුවෙනවා. නීරක්තිය නිසා ගැබිනි මව්වරුන්ට අඩුබර දරුවන් ලැබීමෙන් පසු කාලීනව එම දරුවන් විවිධ බෝ නොවන රෝග වලට ලක් වෙනවා. වඩාත්ම අහිතකර ප්‍රතිඵලය වන්නේ වැඩෙන දරුවන් නීරක්තියට ලක්වීමෙන් ඔවුන්ගේ බුද්ධි මට්ටම හීන වීමයි ,මෙවිට දරුවාට ඉගෙනීමට ඇති තම සහජ දක්ෂතාව දැක්වීමට නොහැකි වීම සිදු වෙනවා.

සමහර රුධිරගත රෝග ආදිය හැරුණු කොට, ලංකාවේ නීරක්තියට හේතුව යකඩ ඌනතාවයයි. සියළුම ගර්භණී මව්වරුන්, කිරි දෙන මව්වරු, සමහර ප්‍රාථමික ශ්‍රේණිවල පාසැල් සිසුන් හා සියළුම නොමේරූ දරු උපත් වලට මෙන්ම යකඩ ඌනතාවය විනිශ්චය කළ සියල්ලන්ටම, යකඩ ප්‍රතිකාරයද, ඉහත සමහර කාණ්ඩ වලට ඊට අමතරව පණු ප්‍රතිකාරද, ත්‍රිපෝෂ ද සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනවා. ඉහත ක්‍රියාමාර්ග සියල්ලම තිබුනත් මෙතරම් ප්‍රතිශතයක් නීරක්තියෙන් පෙළෙන්න්නේ ඇයි? ද යන්න අප හමුවේ ඇති ගැටළුවක්.

නීරක්තිය මෙතරම් ම බහුල සෞඛ්‍ය ගැටළුවක් වන හෙයින් ද, එමගින් එක් එක් පුද්ගලයාට මෙන්ම රටේ ප්‍රගමනයට ද වන හානිය සලකා බලා ,සියල්ලන්ටම ප්‍රමාණවත් පරිදි දෛනික යකඩ ප්‍රමාණයක් ලබා දීමට පියවර ගත යුතු තත්වයක් උදා වී තිබෙනවා. මෙහිදී, එදිනෙදා ආහාරයට ගන්නා තිරිඟු පිටි හෝ ලුණු වැනි පාරිභෝගික භාණ්ඩයක් යකඩ වලින් සබලීකෘත(fortify) කිරීම ලෝකයේ බහුලව භාවිතා වන ක්‍රමයක් වනවා; ලාංකිකයන්ගේ තිරිඟු පිටි පරිභෝජනය අඩු කරලීමේ ක්‍රියාදාමයක අප නිරත වී සිටින බැවිනුත්, ලුණු අයඩින් වලින් සබලීකරණය කිරීමෙන් "අයඩින් ඌනතා ගලගණ්ඩය" තුරන් කිරීම වැනි අප ලබා ඇති සාර්ථක අත්දැකීම් ආදියත් සළකා,ලුණු යකඩ වලින් සබලීකෘත කිරීම ශ්‍රී ලංකාවට උචිත ක්‍රියාමාර්ගයක් ලෙස තෝරගන්නා ලදී.


මේ අනුව ලුණු දැනටමත් සිදු කෙරෙන පරිදි "අයඩින්" වලින්ද, අලුතෙන් "යකඩ" වලින්ද, "ද්විත්ව සබලීකරණයකට" ලක් වෙනවා. දැනට මෙසේ ලුණු වලට යකඩ එක් කල හැකි යන්ත්‍ර හම්බන්තොට ලුණු ලේවායේ පවතිනවා.

මෙම ලුණු "ද්විත්ව සබලීකරණය" හඳුවාදීමට පෙර, පූර්ව පර්යේෂණ කටයුතු  දැනට අප ආයතනය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශවල සිදු කෙරෙමින් පවතිනවා. එහි ප්‍රතිපල නුදුරේදී ම දැන ගැනීමට හැකියි.


ලිව්වේ -වෛද්‍ය වේදිෂ ගන්කන්ද
උපදෙස්- වෛද්‍ය රේණුකා ජයතිස්ස

පින්තූර-greenstone.org

Monday, October 17, 2011

"ට්‍රාන්ස් ෆැටි ඇසිඩ්" මරුවා ගැන දැනගන්න | "Trans fatty acid" the killer




ඔබ දන්නා පරිදි මේදය සැදී ඇත්තේ මේද අම්ල වලින්. මෙහිදී සංතෘප්ත හා අසංතෘප්ත ලෙස මේද අම්ල වර්ග දෙකක් තිබෙනවා. සංතෘප්ත මේද අම්ල, ප්‍රධාන ලෙසම මස් වැනි සත්වමය ආහාර වලිනුත්  හා අසංතෘප්ත මේද අම්ල, ශාඛමය ආහාර වලිනුත් ලැබෙනවා. ට්‍රාන්ස් ෆැට් යනු ,අසංතෘප්ත මේද අම්ල වර්ගයක් නමුත් එහි රසායනික බන්ධන වල සාමාන්‍ය මේද අම්ල වලට වඩා වෙනසක් තිබෙනවා.


මෙම ට්‍රාන්ස් මේද අම්ල හෘදයාබාධ ඇතිකිරීම, අහිතකර වර්ගයේ(LDL) කොලෙස්ටෙරොල් වැඩි කිරීම, පිළිකා ඇති කිරීම ආදී වූ තවත් රෝගාබාධ රැසකට හේතු වෙනවා.

වාණිජ නිෂ්පාදන වලදී බොහෝ විට සංතෘප්ත සත්ව තෙල් යොදා ගන්නේ නැහැ; හේතුව එම තෙල් නිසා අහාරයේ භෞතික ගුණ ඉක්මනින්ම අහිතකර ලෙස වෙනස් වී යාමයි.  ඒ වෙනුවට ශාඛ තෙල් කෘතිමව හයිඩ්‍රජනීකරණයට ලක් කර එම නිෂ්පාදන වලට යොදා ගන්නවා. මෙම හයිඩ්‍රජනීයකරණ ක්‍රියාවලියේදී අහිතකර ට්‍රාන්ස් මේදය සෑදිය හැකියි. එසේම ඉහල උෂ්ණත්ව වල සිදුකරන ආහාර සකස් කිරීමේ ක්‍රියාවලි වලදී ට්‍රාන්ස් මේදය ජනනය වනවා. ගැඹුරු තෙලේ බදින ලද potato chips, හා ඉහල උෂ්ණත්වයක පුළුස්සන ලද බිස්කට් වර්ග ඉහත කී ආකාරයට ට්‍රාන්ස් මේදය ඉහල ප්‍රමාණ වලින් අඩංගු වන නිෂ්පාදන දෙකක්.එමෙන්ම ශ්‍රී ලංකාව ලෝකයේ විස්කෝතු පරිභෝජනය අතින් ඉදිරියෙන් සිටින රටකි.
මෙම කරුණු නිසා බොහෝ රටවලදී ,ලේබලයේ නිෂපාදකයන් විසින් තම නිෂ්පාදන වල ඇති ට්‍රාන්ස් මේද ප්‍රමාණය සඳහන් කිරීම අනිවාර්ය කොට තිබෙනවා; මෙනිසා "Trans-Fat free"යනුවෙන් සඳහන් නිෂ්පාදන වලට ඉහල ඉල්ලුමක් ඇතිවී තිබෙනවා.

මෑතකදී ජපන් පර්යේෂකයින් පිරිසක් ලාංකික දරු උපත් ආශ්‍රිතව කළ අධ්‍යයනයකින් හෙළි වූයේ ලාංකික දරුවන්ගේ වැදෑමහ තුල ජපන් දරුවන්ට වඩා ඉතා අධික ට්‍රාන්ස් මේද ප්‍රමාණයක් අඩංගු බවයි.මෙය ලාංකික දරුවන්ගේ උපත් බර අඩුවීමට හේතුවක් විය හැකියි.අඩු උපත් බර නිසා පසුකාලිනව බෝ නොවන රෝග වලට ලක්වන බව පිළිගත් මතයක් වනවා.

ගැඹුරු තෙලේ බැදීමට ගන්නා තෙල් නැවත නැවත භාවිත කිරීම නිසා එමතෙල් වල මෙම හානිකර ට්‍රාන්ස් මේදය සෑදෙනවා. එම නිසා ගෘහණියන් විසින් බැදීම සඳහා ගන්න තෙල් නිතර අලුතින් යෙදීමට හැකිතාක් පියවර ගතයුතුයි.නැවත බැදීමක් සිදු කිරීමට අත්‍යවශ්‍ය විටදී පොල් තෙල් භාවිතා කිරීම සුදුසුයි.

නමුත්,නිෂ්පාදන වියදම් අඩු කර ගැනීම සඳහා, සමහර ලෝකයේ මෙන්ම ලංකාවේද ප්‍රසිද්ධ කුකුළු මස් ආහාර හා බර්ගර් වර්ග අලෙවි කරන ආයතන වල එකම බැදීම සඳහා භාවිත කරන තෙල් දිනපතා තුනී පෙරනයකින් පෙරමින් සතියක් වැනි දීර්ඝ කාලයක් පවා භාවිත වන බව අසන්නට ලැබෙනවා.

ලිව්වේ -වෛද්‍ය වේදිෂ ගන්කන්ද, 
උපදෙස් -වෛද්‍ය රේණුකා ජයතිස්ස

මූලාශ්‍ර
http://www.fundacionlilly.com/Nitro/objects/foundation/files/lines/simposio/16%C2%BASIMP_Arteriosclerosis_2010.pdf#page=18
http://www.nejm.org/doi/full/10.1056/NEJMc052959


For the English version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න. 

Wednesday, October 5, 2011

3G රේඩියෝ අහමු | Listen to 3G Radio Service

මොකද්ද මේ 3G රේඩියෝව?

මේක අලුත්ම උත්සාහයක්. මෙහිදී අප උත්සාහ කරන්නේ ජනයා අතරටම ගොස් ඔවුන්ගේ පෝෂණ දැනුම උසස් කිරීමටයි.මෙවැනි ක්‍රියාමාර්ග "ප්‍රජාව සවිබල ගැන්වීම/Community Empowerment" ලෙස හඳුන්වනවා. ප්‍රධාන වශයෙන්ම කුඩා දරුවන්ට ආහාර දීමේ පුරුදු නිවැරදි කිරීම මගින් පෝෂණ හා සෞඛ්‍ය තත්වය උසස් කිරීම අප මෙහිදී බලාපොරොත්තු වෙනවා.


වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි,

මුලින්ම අප විසින් යම් ග්‍රාමයක් තෝරා ගෙන ඔවුන්ට නිවැරදි ආහාර පුරුදු ගැන පුහුණුවක් දෙනු ලබනවා.ඒ සඳහා පෙර පිහිටුවා ඇති මාධ්‍ය සමාජ උපකාරී වනවා.

ඉන්පසුව ඔවුන් එම දැනුම නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා.එම පිටපත් අධ්‍යක්ෂණය ආදී සියල්ලම කරන්නේ ගමෙන්ම සොයාගත් දක්ෂයින් අතින්.මෙමගින් ඔවුන්ගේ කලා කුසලතාවයන්ට වේදිකාවක් විවර වෙනවා. කවි ,සින්දු මෙන්ම රසවත් දෙබස් ඇතුලත්ව කරන මෙම වැඩසටහන සකස් වී ඇත්තේ ආච්චි, දුව හා මිනිපිරිය යන පරම්පරා තුන නියෝජනය වන ආකාරයටයි; එමනිසා 3 Generations යන අර්ථයෙන් මෙයට "3G Radio" කියා නම තබා තිබෙනවා.

ගමේ පොදු ස්ථානයකදී මෙම වැඩසටහන් සජීවීව සිදුකරන අතර සමහර වැවසටහන් පටිගත කර පසුව විකාශය කරනවා; ඒ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා ඔස්සේ සවස 4 සිට 5 දක්වා කාලය තුලයි.

මාසයකට පැයේ වැඩසටහන් 5ක් පමණ විකාශය වන අතර එම වෙලාවන් කලින් ගුවන්විදුලියෙන් දැනුම් දෙනවා, මෙම වැඩසටහන් ශ්‍රවණය කිරීමට එම ගම්වල පුල පුලා බලා සිටිනවා, ඒ ඔවුන්ගේ නිර්මාණ රටටම ඇසෙන්න විකාශය වන අයුරු ශ්‍රවණය කිරීමටයි.

අප විසින් සෑම පටිගත කිරීමක් අතරතුරම ,පෙර සතියක පටිගත කල වැඩසටහනක් ගුවන් විදුලිය ඔස්සේ එම ජනතාවට ඇසීමට සලස්වනවා. එමෙන්ම සෑම වැඩසටහනකටම පෙර හා පසු ගැමියන්ගේ දැනුම් මට්ටම මැන බැලීමක්ද සිදු කරනවා.

මෙම සංකල්පය අන්තර්ජාතික තරඟයකට ඉදිරිපත් කර ජයග්‍රහණය කළ වැඩපිළිවෙලක්, දැනට මෙය ඈත පිටිසර ගම් නියම්ගම් රැසක ඉතා ඉහල ජන ප්‍රසාදයක් සහිතව දියත් කිරීමට අපට හැකිවී තිබෙනවා. මෙය  ක්‍රියාත්මක කරන්නේ "3G රේඩියෝ ටීම්" මගින්.

මෙම වැඩසටහන් නුදුරේදීම වැඩසටහන් මාලාවක් ලෙස බ්ලොග් අවකාශයට දායාද කිරීමට අප බලාපොරොත්තු වෙනවා, එමගින් මෙම වැඩසටහන් ගුවන් විදුලි විකාශන කාලය තුල අසා ගැනීමට නොහැකි අයට අසාගැනීමට මෙන්ම අනාගතයෙදීද අසා ගැනීමට සංචය කර තබාගැනීමට හැකිවනු ඇති.ගුවන් විදුලිය ඔස්සේ මේවා සජීවීව ශ්‍රවණය කිරීමට කැමති ඔබ හට , එම ගුවන් කාලයන් හා සංඛ්‍යාත අපි පසුව දැනුම් දෙන්නම්.

පහත දැක්වෙන්නේ පසුගියදා දකුණු පළාතේ බෙංගමුව නම් ග්‍රාමයේදී සිදු කළ වැඩසටහනක්. එම වැඩසටහන කෙරුණු ආකාරය වීඩියෝවේ දැක්වෙන පින්තූර මගින් පෙන්වා තිබෙනවා.





මෙම වැඩසටහනේ පිටපත මෙතැනින් බලා ගන්න

මෙම නැවුම් ව්‍යායාමය ඔබටත් නැවුම් අත්දැකීමක් වනු නියතයි!



ලිව්වේ- වෛද්‍ය වේදිෂ ගන්කන්ද, 
විශේෂ ස්තුතිය - 3G රේඩියෝ කණ්ඩායමේ සමන් කුමාර ප්‍රියදර්ශණ මහතා ඇතුළු සාමාජිකයන්ට හා ගම්වාසීන්ට.

Thursday, September 22, 2011

මඤ්ඤොක්කා වැඩිපුර කන්නේ බලාගෙනයි! | Manioc can be harmful !

Pic source-http://www.learnnc.org/lp/multimedia/6986

මෑත කාලීනව, වැඩිපුර මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මෙයට එක් හේතුවක් නම් එහි අඩංගු විටමින් "B17" නම් ප්‍රති-පිළිකාකාරක සංයෝගයක් ගැන ඇතිවූ කතාබහයි.


මේ ගැන අප ජිනීවා හි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසුවා.එහි ආහාර සුරක්ෂිතතාවය(Food safety)අහාර රසකාරක/පරිරක්ෂක(JECFA-Joint FAO/WHO Committee On Food Additives)මෙන්ම රසායනික කෘමිනාශක වලින් ආහාර වලට අති බලපෑම(JMPR -Joint FAO/WHO Meetings on Pesticide Residues)පිළිබඳ ලේකම්වරිය අප වෙත වාර්තා කර සිටියේ මෙවැනි "විටමින් B17" නම් සංයෝගයක් නැති බවත් එය සමහර ශාඛ වල ස්වභාවිකවම හට ගන්න amygdalin නම් සංයෝගයක් බවත්ය, මෙහි කිසිදු විද්‍යාත්මක ව ඔප්පු කළ ප්‍රති-පිළිකාකාරක ගුණයක් නොමැති බවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.
අප මේ ගැන ඔබ දැනුවත් කිරීමට අදහස් කලේ කරුණු 3ක් නිසයි.

1.
මඤ්ඤොක්කා නිසි ලෙස ආහාරයට නොගැනීමෙන් විෂ සහිත විය හැකියි,එයට හේතුව එහි ඇති amygdalin linamarin වැනි සංයෝග අහාර ජීර්ණ පද්ධතිය තුලදී සයනයිඩ් බවට පෙරලීමට හැකි වීමයි.එනිසා මේවා සයනයිඩ් කාරක සංයෝග (cyanogenic glycosides) ලෙස හඳුන්වනවා.

2.මඤ්ඤොක්කා යනු ඉතාම ඉහල
ග්ලයිසීමික් අගයයක්(Glyceamic Index) සහිත ආහාරයක්. ග්ලයිසීමික් අගය යනු අප සීනි සහිත ආහාරයක් ගත් විට රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල යන වේගයයි. මෙය පාන් වලට සාපේක්ෂව මනින අතර පාන් වල අගය 100ක් වන විට එය මඤ්ඤොක්කා වල 94ක් වනවා(එය දෙල් වල 60ක් ද, රොටී වල65ක්ද පමණ වීමෙන් මෙය කෙතරම් ඉහල අගයක්දැයි ඔබට පෙනෙනවා ඇති).මේනිසා දියවැඩියාව වැනි රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු විශාල ප්‍රමාණවලින් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් වැලකීම වැදගත්ය.  

3.මඤ්ඤොක්කා යනු ප්‍රොටීන් අවම වන ආහාරයක්, එම නිසා මඤ්ඤොක්කා පමණක් ආහාරයට ගැනීමෙන් ඔබේ කැලරි අවශ්‍යතාවය සපිරුනත්, ප්‍රෝටීන් අවශ්‍යතාවය සැපිරීම සිදු නොවීම නිසා "ප්‍රෝටීන් කැලරි දුශ්පෝෂණය";එනම් මන්දපෝෂණයට ලක් විය හැකියි. මීට දශක කිහිපයකට පෙර ප්‍රෝටීන බහුල ආහාර හිඟ වූ සමයේ බතල,මඤ්ඤොක්කා වැනි ආහාර මත අධික ලෙස යැපීම නිසා ලංකාවේ මැරස්මස්, ක්වෝෂියෝකෝර් වැනි උග්‍ර මන්දපෝෂණ තත්ත්ව
ඉහල ගිය බව අප අත්දැක තිබෙනවා.  


කෙසේ නමුත් මඤ්ඤොක්කා ව්‍යංජනයක් හෝ ප්‍රධාන ආහාරවේල සඳහා අල වර්ගයක් ලෙස ගැනීමේ වරදක් නැත.
ඔබේ දැනගැනීම පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප වෙත දැන්වූ ලිපියෙන් කොටසක් පහත දැක්වෙනවා.
"the so-called 'vitamin B17' is in fact no vitamin, it is a compound called amygdalin that occurs naturally in certain plants. I understand that this has been promoted as cancer treatment, however this is totally non-scientific and there seems to be no evidence of effectiveness. To the contrary, amygdalin belongs to the group on compounds called 'cyanogenic glycosides' which contain cyanide that can be liberated when digested in the human body, and can even be a source of intoxication.
Cassava also contains a cyanogenic glycoside called linamarin, a compound related to amygdalin.
The Joint FAO/WHO Expert Committee on Food Additives (JECFA) has just recently evaluated the toxicity of cyanogenic glycosides, and the summary report is accessible on the web: http://www.who.int/foodsafety/chem/jecfa/summaries/Summary74.pdf . The full report and detailed monographs are in preparation and will be published by the end of this year."


ලිව්වේ -වෛද්‍ය වේදිෂ ගන්කන්ද
උපදෙස්- වෛද්‍ය රේණුකා ජයතිස්ස
මූලාශ්‍ර - 
http://www.nutritionsociety.org.uk/bjn/091/0971/0910971.pdf
            http://www.who.int/foodsafety/chem/jecfa/summaries/Summary74.pdf


For the English version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න. 

Wednesday, September 21, 2011

අයඩින් ඌණතාවය තුරන් කරන ලදී! | Iodine deficiency status in Sri Lanka ;Then and Now

 ගලගණ්ඩය බහුල ප්‍රදේශය
1940 දශකයේ පටන්ම ,ලංකාවේ බහුල ගැටළුවක් ලෙස ගලගණ්ඩය හඳුනාගෙන තිබිණි; එසේම තෙත් කලාපයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාතේ කොටසක්ද ඇතුලත් ගලගණ්ඩය බහුල පටියක් වැනි ප්‍රදේශයක් හඳුනාගනු ලැබිණි.

මෙකල 40% පමණ වූ ගලගණ්ඩ ව්‍යාප්තිය අඩු  කරලීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී.කෙසේ නමුත් 1986 පමණ වන විටද මෙම ප්‍රතිශතය දරුවන් අතර 18% තරම් ඉහල අගයක පැවතුනි.

මෙම තත්වය මර්ධනය කිරීම සඳහා 1990 දී පැවති ලෝක ළමා සමුළුවේ තීරණයන්ටද අනුව වසර 1995 සිට "ලුණු අනිවාර්යයෙන්ම අයඩිනීකෘත කිරීම " ආරම්භ වූ අතර ආහාර පනතට අනුව, ලුණු කර්මාන්තශාලා මට්ටමේදී මිලියනයකට කොටස් 50ක්(50 ppm)අගයයක්ද, පාරිභෝජන/ගෘහස්ථ මට්ටමේදී මිලියනයකට කොටස් 25ක්ද(දැන් මෙය 15ppm ලෙස සලකනු ලැබේ) ලෙස අයඩිනීකෘත කිරීමට  නීති සම්පාදනය විය.

ඉන්පසු විටින් විට 2000,2005, 2010 යන වසර වලදී ලංකාවේ අයඩින් ඌනතා තත්වය සහ අයඩිනීකෘත ලුණු වල තත්ත්වය මැන බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශය විසින් පසු විපරම් සමීක්ෂණ සිදු කරන ලදී.මෙම සමීෂණ වාර්තා මගින් ශ්‍රී ලාංකික වෛද්‍ය ඉතිහාසයේ තවත් ජය කඩඉමක් සනිටුහන් කරමින් අයඩින් ඌනතාවය දුරලීමේ මට්ටම කරා අප ළඟා වී ඇති බව පෙන්වා දෙනු ලැබීය.

අයඩින් ඌනතාවය තුරන් කරලූ තත්ත්වය යම් රටක් විසින් දිනාගැනීමට නම් ICCIDD නම් සංවිධානය මගින් නියම කර ඇති ප්‍රධාන නිර්ණායක 3 කුත්, අයඩින් ඌනතාවය දුරලීමේ වැඩසටහනට අදාල නිර්ණායක(Programmatic Indicators) 10න් 8 කුත් දිගින් දිගටම සපුරා තිබිය යුතුය.

පහත දැක්වෙන්නේ එම නිර්ණායකයන්ය


criteria for monitoring progress towards sustainable elimination of IDD

Indicators  
Goals
Goiter Prevalence(ගලගණ්ඩ බහුලතාව)
<5%
Urinary Iodine Proportion(මුත්‍රා වල අඩංගු අයඩින් ප්‍රමාණය) below 100μg/L                        
>50%
Proportion(මුත්‍රා වල අඩංගු අයඩින් ප්‍රමාණය)below 50μg/L                                                    
>20%
Salt Iodization Proportion of households using adequately iodized salt(ගෘහාශ්‍රිත ලුණු) 
>90%
Programmatic Indicators
8/10


ශ්‍රී ලංකාව සැලකූ කල වසර 2005 වන විටම මෙම නිර්ණායක සියල්ල සපුරාලමින් අයඩින් ඌණතාවය දුරලීමේ මට්ටම ළඟා කරගත් රටවල් අතලොස්සකින් එකක් බවට පත් වී ඇත.

මෙම සමීක්ෂණ වලදී පාසැල් දරුවන්ගේ හා ගැබිනි මව්වරුන්ගේ ගලගණ්ඩ බහුලතාවය,මුත්‍රා වල අඩංගු අයඩින් ප්‍රමාණය මෙන්ම පානීය ජලයේ අඩංගු අයඩින් ප්‍රමාණයද මැන බලන ලදී.

ගලගණ්ඩ බහුලතාව

මෙය 5%කට අඩුවෙන් තබා ගැනීම අපගේ ඉලක්කය විය යුතුය.2010 දත්ත වලට අනුව දැනට මෙම අගය 4.4% කි(ඉතිහාසයේ අගයයන් සැළකුවහොත් මෙම අගය 1986 – 18.8%,2000 – 18.0% ,2005 – 3.8% පමණ විය). එසේම සෑම පළාතකම පාහේ ගැහැණුන් අතර පිරිමින්ට වඩා ගලගණ්ඩය බහුල බව පෙනී ගොස් ඇත. තවද වයඹ ,මධ්‍යම හා දකුනු පළාත් වල ගලගණ්ඩය උපරිම ලෙස පෙන්නුම් කරන බවද, උතුරු පළාතේ මෙය අවම බවද ඔබට පෙනී යනු ඇත.

ගලගණ්ඩ බහුලතාව 
මුත්‍රා වල අඩංගු අයඩින් ප්‍රමාණය

මෙය වූ කලී අප විසින් ශරීරයට ලබා ගන්නා අයඩින් ප්‍රමාණය පිළිබඳ මිම්මකි. සාමාන්‍ය පුද්ගලයෙකු හට මෙම අගය 100-200 ug/L අතර ප්‍රමාණයක්ද, ගැබිනි මවකට 250ug/L පමණ අගයයක්ද පවත්වාගත යුතු අතර 300ug/Lට වැඩි වීම අයඩින් අධික වීමක් පෙන්නුම් කරයි(මෙහිදී අයඩින් විෂ වීම ඇතිවිය හැකිය ).

 සුදුසු ;එනම් 100-200ug/L අතර අයඩින් ප්‍රමාණයක් මුත්‍රා වල පවතින ළමුන් ප්‍රතිශතය 2000 දී 35.4%, 2005 දී 34.7% හා 2010 දී 37.7% ක් වේ.මේ අනුව ත් අප දරුවන්ගේ අයඩින් ආහාරයට ගැනීමේ සුදුසු පරාසය පවත්වා ගනිමින් සිටින බව පෙනේ.අයඩින් යනු දරුවන්ගේ වැඩීමට හා මොළය වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂකයක් වන බැවින් මෙය ඉතා වැදගත් තත්ත්වයකි.



මුත්‍රා වල අඩංගු අයඩින් ප්‍රමාණය (පාසැල් ළමුන්ගේ)

ගර්භණී මව්වරුන්

කෙසේ වෙතත් 2010 වසරේදී, ගර්භණී මව්වරුන්ගේ මුත්‍රා සාම්පල වල අයඩින් ප්‍රමාණයේ සාමාන්‍ය අගය 113ug/L ලෙස සටහන් විය.වැඩෙන කළළයේ පෝෂණ අවශ්‍යතාවන්ද සපුරාලිය යුතු මෙම කාලයෙදී, මවක් නිසි පරිදි අයඩින් ආහාරයට එක් කර ගන්නේ නම්; මුත්‍රා වල බැහැරවන අයඩින් 250 ක අගයයක් වත් තිබිය යුතුය. මින් පෙනී යන්නේ ශ්‍රී ලාංකික මව්වරුන් තවමත් අවශ්‍ය අයඩින් මට්ටම ලබා නොගන්නා බවයි.


ජලයේ අඩංගු අයඩින්

දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජලයේ අඩංගු අයඩින් ප්‍රමාණ එකිනෙකට වෙනස්ය. මෙයට කඳු සහිත භාවය, ක්ෂීරණය ආදිය හේතු වනවා විය හැක. පහත පෙන්වා ඇත්තේ එක් එක් පළාත් වල ජලයේ අඩංගු අයඩින් ප්‍රමාණ වේ.උතුරු ප්‍රදේශයේ ගලගණ්ඩ ප්‍රතිශතය අඩු වීමට එක් හේතුවක් ලෙස මෙසේ ජලයේ අඩංගු අයඩින් ප්‍රමාණය වැඩිවීම ගතහැක.ලෝකයේ සමහර රටවල මෙවැනි ස්වභාවිකවම ජලයේ අයඩින් අධිකව අඩංගු ප්‍රදේශ වලට, අඩුවෙන් අයඩින් යෙදූ ලුණු සැපයීමක් සිදු කෙරේ.

ජලයේ අඩංගු අයඩින්
මීට අමතරව කඳුකර ප්‍රදේශ වල ගලගණ්ඩ ප්‍රතිශතය වැඩිවීමට එම ප්‍රදේශ වල මුහුදු ආහාර හා මාළු අඩුවෙන් පරිභෝජනය කිරීම සැලකිය හැක.

ගෘහාශ්‍රිත ලුණු

නිවෙස් වල භාවිතා කරන ලුණු වල ඒ ඒ රටවල ආණ්ඩු විසින් නියම කරන ලද අයඩින් ප්‍රතිශත තිබීම 90% කට වඩා වීම අනිවාර්ය වේ.2005 දී මෙම අගය 91% පමණ වුවත් 2010 දී මෙම අගය 68.2% දක්වා පහල බැස ඇත; කිසිදු පළාතක අපේක්ෂිත මට්ටමට ගෘහාශ්‍රිත ලුණු වල අයඩින් අඩංගු නොවේ. මෙමගින් පෙනෙන්නේ දැනට පවතින ලුණු වල පවතින අයඩිනීකරණය පිළිබඳ අඩු ප්‍රමිතියයි. මෙම තත්ත්වය තවත් බරපතල වනුයේ "ලුණු වතුර" සෑදෙන පරිදි බෝතලයක වතුර සමඟ ගබඩා කිරීම, ව්‍යංජන පිසීම ආරම්භයේදීම ලුණු එකතු කිරීම නිසා අධික රස්නය හේතුවෙන් අයඩින් වාශ්ප වී යාම ආදී හේතුවෙන් තව තවත් අයඩින් අඩුවීයාමක් සිදු වීම නිසයි.මෙනිසා ලුණු වල අයඩිනීකරණ තත්ත්වය පවත්වා ගැනීම පවත්වා ගැනීම කෙරෙහි වහා පියවර ගත යුතුය.


ශ්‍රී ලංකාවේ දැනට අයඩින් ඌනතාවය දුරලීමේ තත්ත්වය හා එම ඉලක්ක අතර සැසඳීමක් පහත දැක්වේ.

Programmatic indicators

මෙහිදී අප සිහි තබාගත යුතු කරුණ නම් මෙම සියළු ජයග්‍රහන කෙරෙහි හේතු වූයේ ගෘහාශ්‍රිත ලුණු අයඩින් වලින් සබලීකෘත කිරීම බවයි. මෙවැනිම වූ ක්‍රමයකින් බහුල සෞඛ්‍ය ගැටළුවක් වන රක්ත හීනතාවය සඳහා ද පිළියම් යෙදීමට අවශ්‍ය පර්යේෂණ මේ දින වල අප විසින් සිදු කරමින් පවතී.

අයඩින් ඌණතාවයෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා; නිසි ලෙස අයඩිනීකෘත ලුණු ආහාරයට එක් කර ගැනීම, ආහාර පිළියෙල කිරීමේ වැරදි පුරුදු අත්හැරීම, හා මෙවැනි සමීක්ෂණ නිතර පවත්වා තත්ත්වය සමාලෝචනය කිරීම ඉතාම වැදගත් වනු ඇත.

ලිව්වේ -වෛද්‍ය වේදිෂ ගන්කන්ද
මූලාශ්‍ර -ICCIDD/UNICEF/WHO, 2001, 
             IDD survey MRI, 2010 

For the English version of this article Click Here and Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට සහ ๧මත๠නට යන๞න. 

Wednesday, August 24, 2011

දිවි දිගු කරන වට්ටක්කා ඇට | Life saving Pumpkin Seeds

Picture-courtesy-http://upload.wikimedia.org/

ලංකාවේ දිනෙන් දින වැඩිවන සෞඛ්‍ය ගැටළු අතර අධි කොලෙස්ටෙරෝල් තත්ත්වය  ප්‍රමුඛ ගැටළුවක්. දකුණු ආසියාතිකයන් වශයෙන් අප මේ ගැටළුවට වඩාත්ම ලක්වන පිරිසක් වනවා.මෙහිදී ආහාර වල ඇති අහිතකර මේදය නිසා රුධිරයේ අහිතකර LDL කොලෙස්ටෙරෝල් මට්ටම ඉහල යන බවත් හිතකර HDL කොලෙස්ටෙරොල් මට්ටම පහල යන බවත් ඔබ දන්නවා.

මේදය සෑදී ඇත්තේ සංතෘප්ත(Saturated) හා අසංතෘප්ත(Unsaturated) යන මේද අම්ල දෙවර්ගයේ සංයෝගයෙන්. සංතෘප්ත මේද අම්ල සත්ව මාංශ ආහාර වල බහුලයි, මේවා මගින් ඉහත කී LDL කොලෙස්ටෙරෝල් මට්ටම ඉහල නංවන නිසා සංතෘප්ත මේද අම්ල අධික ලෙස ආහාරයට ගැනීම ශරීරයට අහිතකරයි.

නමුත් අසංතෘප්ත මේද අම්ල ගත්කල, මේවා ශරීරයට වඩා හිතකරයි. ශාඛ ආහාර වල මේවා බහුලයි, පොල්, සුරියකාන්ත(sunflower) ,ඉරිඟු(corn)හා සෝයා වැනි තෙල් වල අසංතෘප්ත මේද තිබෙනවා.අසංතෘප්ත මේද අම්ල ගත්කල ඒවායේ ඇති රසායනික කාබන් බන්ධන ගණන මත MUFA(Mono Unsaturated Fatty Acid- ඒක අසංතෘප්ත යන මේද අම්ල) හා PUFA(Poly Unsaturated Fatty Acid -බහු අසංතෘප්ත යන මේද අම්ල) ලෙස වර්ග දෙකකට බෙදනවා. DHA, EPA, Omega 3, Omega 6 ආදී වචන වෙළඳ දැන්වීම් හරහා ඔබේ කනට හුරු ඇති. මේවා විවිධ PUFA මේද අම්ල වර්ගයි.

PUFA මේද අම්ල ගත්කල , මේවා බහුල වන්නේ මාළු වලයි. මේ ඔමෙගා 3 මේද අම්ල බහුල නිසාම,මාළුවලින් ඒවා වෙන්කරගෙන  “ෆිශ් ඔයිල්(fish oil)" යන නාමයෙන් විවිධ කරල් වර්ග වාණිජව නිපදවා තිබෙනවා. මේවා භාවිත කිරීම ; විශේෂයෙන්ම හෘද  රෝගීන් අතර දැන් දැන් වඩාත් ප්‍රචලිත වී තිබෙනවා.වැඩිපුර මාළු ආහාරයට ගැනීමෙන් ඔබට මෙම ඔමෙගා 3 මේද අම්ල පහසුවෙන් ලබා ගත හැකියි.

MUFA ගත් කල, විවිධ ඇට වර්ග වල ඇති තෙල් වල ඒවා බහුලයි. එම නිසා රටකජු, කොට්ටන්, මෙන්ම තල ආදී ඇට වර්ග මේස හැඳි 1 ක් (කුඩා රටකජු ඇට 10 පමණ )  දිනපතා ආහාරයට ගැනීම හොඳ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට හේතු වනවා.

අප ඔබට හඳුන්වා දෙන්නට යන්නේ මෙවැනි ඉතාමත් සරු ඒක අසංතෘප්ත යන මේද අම්ල (MUFA) ප්‍රභවයක්; එනම් වට්ටක්කා ඇටයි. වට්ටක්ක ව්‍යංජනයක් උයා නිමවූ පසු ඉතිරි වන ඇට ටික කුණු කුඩයට දැමීම වෙනුවට, පොත්ත ඇර හෝ නැතිව ඒවා අව්වේ වේලා හෝ  අවන් එකක දමා තරමක් රෝස්ට් කර ගත්විට ප්‍රනීත රසයකින් යුත් ගුණදායක ආහාරයක්‌ ඔබට ලැබෙනවා.මෙයට ලුණු එක් කිරීම සුදුසු වන්නේ නැහැ,හේතුව අධික ලුණු භාවිතය අධි රුධිර පිඩනයට හේතු වන නිසයි. මෙම ආහාරය පහසුවෙන් ඇස ගැටෙන තැනක තැබූ විට පවුලේ සියල්ලන්ම යන එන ගමන් මින් ඇටයක් දෙකක් ආහාරයට ගන්න පෙළඹෙනවා සිකුරුයි.

වට්ටක්කා ඇට වල පෝෂණ අගයයන් පහත දක්වා තිබෙනවා,

Total Fat

46.7 %
PUFA 70%

Alpha linolenic acid
47 %
Linoleic acid
23.4 %
MUFA 30%

ῳ -9 fatty acid
15.9 %
ῳ- 6 fatty acid
4.2 %

මෙසේ සකස් කල, වට්ටක්කා වැනි ඇටවර්ග තායිලන්තය වැනි රටවල විකිණීමට පවා තිබෙනවා. ලංකාවේද සමහර සුපිරි වෙළඳසල් වල මේවා තිබෙනවා. නමුත් ඔබටම කිසිම වියදමක් නැතිව, ඔබේ දිවිය දිගු කර දෙන මෙම ආහාරය නිවසේදීම සකස් කර ගත හැකියි.

ඔබේ අත්දැකීම් අන් අය සමඟද බෙදාගැනීමට පහත සටහන් කරන්න.


වෛද්‍ය රේණුකා ජයතිස්ස (පෝෂණ වෛද්‍ය විශේෂඥ ) මහත්මිය සැපයූ කරුණු අනුව, ලිව්වේ වෛද්‍ය වේදිෂ ගන්කන්ද.



For the English version of this article Click Here | ๧මම ල๢ප๢๧ය๞ ඉංග්රීසි ප໱ව໮තනය සඳහ๟ ๧මත๠නට යන๞න.